News

හිසරදයට කොට්ටය මාරු කිරීම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට්

නවක කී‍්‍රඩකයන් සමග බංගලාදේශය බලා පිටත්ව ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 2-1 ලෙස පරාජයට පත්විය. ඒ ශී‍්‍ර ලංකා බංගලාදේශ එක්දින ඉතිහාසයේ පලමුවරට බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ශී‍්‍ර ලංකා කණ්ඩායම ලැබු තරගාවලි පරාජයයි. සතුටට කරුණ නම් තරගාවලියේ අවසාන තරගය හෝ ශී‍්‍ර ලංකා කණ්ඩායමට ජයගැනීමට හැකි වීමයි.

අවසන් තරගයේදී බිනුර ප‍්‍රනාන්දු චාමික කරුණාරත්න සහ රමේෂ් මෙන්ඩිස් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගැනීමට සමත් විය. ඒ අනුව 1975 සිට දක්වා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනු කී‍්‍රඩකයින් සංඛ්‍යාව 197කි. මේ කී‍්‍රඩකයින් 197 දෙනාගෙන් ක‍්‍රීඩකයින් 35 කෙනෙකුම 2015 වසරේ සිට මේ දක්වා කාලය තුල එක්දින වරම් ලබා ඇත. එක්දින තරග රටාවේ ප‍්‍රබල කණ්ඩායමක් වන ඉන්දියාව 2011 වසරේ ඔවුන් ලෝක කුසලානය දිනු දින සිට මේ දක්වා වසර 10ක කාලයට එක්දින වරම් දිනා ඇති නවක කී‍්‍රඩකයින් සංඛ්‍යව 44කි. නමුත් ශ‍්‍රී ලංකාව් පසුගිය වසර 6 ක කාලයට පමණක් ක‍්‍රීඩකයින් 35 දෙනෙක් එකදින වරම් දිනා ඇත.

2015 ජනවාරි මස සිට මේ දක්වා කාලය තුල ශී‍්‍ර ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරග 190 ක් ක‍්‍රීඩා කර ඇතත් එම කාලයතුල එක්දින වරම් ලැබු කී‍්‍රඩකයින් 35 දෙනාගෙන් එක්දින ජාත්‍යන්තර තරග 50ක් හෝ ඊට වඩා කී‍්‍රඩා කර ඇත්තේ එක් ක‍්‍රීඩකයෙක් පමණි. ඒ කුසල් මෙන්ඩිස්ය. ඔහු තරග 79කට ක‍්‍රීඩා කිරීමට සමත්ව ඇත. එසේම ඒ කාලය තුල තරග 20ක් හෝ ඊට වඩා කී‍්‍රඩාකර ඇත්තේ ක‍්‍රීඩකයින් 9 දෙනෙකු පමණයි. මේ ආකාරයට විටින් විට කණ්ඩායමට නවක ක‍්‍රීඩකයන් ඇතුලත් උවත් ඔවුන් කණ්ඩායම තුල ස්ථාවර වන්නෙ කලාතුරකිනි.

එසේම මෙම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයට නම් කල ශී‍්‍ර ලංකා සංචිතයේ නායකත්වයට ආරම්භක පිතිකරු කුසල් පෙරේරා නම් කරන ලදී. ඒ ශ‍්‍රී ලංකා එක්දින ඉතිහසයේ 24 වන නයකයා ලෙසය. පසුගිය කාලය තුල ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය විටින් විට වෙනස් විය. ඒ අනුව  ගෙවුන වසර 5ක කාලය තුල නායකත්වට පත්වූ 9 වන ක‍්‍රීඩකයා වන්නේ කුසල් පෙර්රාය. ඒ කාලය තුල දිනේෂ් චන්දිමාල්, ඇන්ජෙලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, තිසර පෙරේරා, උපුල් තරංග, ලහිරු තිරිමාන්න, චාමර කපුගෙදර සහ දිමුත් කරුණාරත්න ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්ව ඇත.

මේ ආකාරයට විටින් විට නවක කී‍්‍රඩකයන් ආදේශ කිරීම කණ්ඩායමේ කී‍්‍රඩකයන් විටින් විට මාරු කිරීම සහ කණ්ඩායමේ නායකත්වය විටින් විට මාරු කිරීම ගෙවුන වසර කීපය තුලම දක්නට ලැබේ. ඉතිං මේ ආකාරයට දිගින් දිගටම ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබන පරාජයන් හමුවේ පෙනීයන්නේ ක‍්‍රීඩකයින් මාරු කිරීම හිසරදයට කොට්ටය මාරු කිරීමක් පමණක්ම වී ඇති බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න