News

පරිපාලනයට හා තේරීම් කමිටුවට මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සැලැස්මක් තිබුනද

ශ‍්‍රි ලංකා ඉතිහාසයේ අසාර්ථකම ලෝක කුසලාන තරගාවලිය ලෙස ඉතිහාසයට එක් කරමින් ශී‍්‍ර ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලිය නිමාවට පත් කලේය. තරග 9කන් තරග 2ක් පමණක් ජයගත් ශ‍්‍රී ලංකාව කණ්ඩායම් 10ක් අතරින් 9වන ස්ථානය ලබා ගැනීමට සමත්විය. වරක ඉන්දියාව ඉදිරියේ ලකුණු 55කට දැවී ගිය ශ‍්‍රී ලංකාව දකුණු අප‍්‍රිකානු කණ්ඩායම ලකුණු 400 ඉක්මවා යාමටත් ඉඩලබා දුනි. එසේම ලෝක කුසලාන ඉතිහාසයේ පලමු වරට ඇෆ්ගනිස්ථානයට සහ බංගලාදේශයටද පරාජයට පත්වීමට ශ‍්‍රී ලංකාවට සිදු විය. මේ දුර්වල ක්‍‍්‍රීඩා විශාලය නිසාම ශ‍්‍රී ලංකා ක්‍‍්‍රිකට් පරිපාලනයට සහ තේරීම් කමිටුවට මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සැලැස්මක් තිබුනේද යන සැකය සියලූම ක්‍‍්‍රීඩා ලෝලීන්ට ඇති වී ඇත.

වර්ෂ 2021දී කුසල් පෙරේරාගේ නායකත්වය යටතේ 2023 ලෝක කුසලානය සදහා නවක ක්‍‍්‍රීඩකයන් සමග ඉදිරියට යමේ අපේක්ෂාව ඇතිව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව ජේෂ්ඨ කී‍්‍රඩකයින් කණ්ඩායමෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. එහි ප‍්‍රථිඵලයක් ලෙස ලහිරු තිරිමාන්න තිසර පෙරේරා ඉසුරු උදාන වැනි ක්‍‍්‍රීඩකයන් ක්‍‍්‍රිකට් පිටියට සමු දෙද්දී දිමුත් කරුණාරත්න දිනේෂ් චන්දිමාල් ඇන්ජෙලෝ මැතිව්ස් වැනි කී‍්‍රඩකයින් ටෙස්ට් තරග සදහා පමණක් සීමා විය. එම තීරණයේ අවසන් ප‍්‍රථිඵල වුනේ ශී‍්‍ර ලංකා කණ්ඩායම දිගින් දිගටම තරග පරාජයට පත්වීම සහ 2023 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීමයි.

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායමට 2023 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමට සුදුස්කම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍‍්‍රීඩා කිරීමට සිදු විය.

එසේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ආසන්නයට පැමිණෙන විට නැවතත් ජේෂ්ඨ කී‍්‍රඩකයන් කෙරේ අවධානය යොමු කල තේරීම් කමිටුව තරග 3කින් යුත් ඇෆ්ගනිස්ථාන් කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරය සදහා ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න කණ්ඩායමට එක් කරගන්නා ලදී.

ඉන් අනතුරුව දිමුත් කරුණාරත්න කණ්ඩායමේ රදවා ගත් තේරීම් කමිටුව ඇන්ජෙලෝ මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත් කර ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට කණ්ඩායම තෝරා ගන්නා ලදී. එහිදී සියලූම තරග ජයගත් ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සුදුසුකම් සපුරා ගත්හ.

ඒ අනුව නුදුරේම ආසියානු කුසලානය සහ ලෝක කුසලානය පැවැත්වෙන බව හොදින්ම දන්නා මෙරට ක්‍‍්‍රිකට් බලධාරීන් ඒ ආසන්න කාලයේම ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය සංවිධානය කලේය. එහිදී ක්‍‍්‍රීඩකයන්ට ඉතාමත් කාර්යබහුල තරග කාලසටහනක් යටතේ ක්‍‍්‍රීඩා කිරීමට සිදු විය. මේ පිලිබදව ක්‍‍්‍රීඩකයන්ද දැඩි කනස්සල්ලෙන් කතා කල අතර එහි අවසන් ප‍්‍රථිඵලය වූයේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රබල ක්‍‍්‍රීඩකයන් කීපදෙනෙක්ම ආබාධයන්ට ලක් වීමයි.

පසුව පැවති ආසියානු කුසලාන තරගාවලයිට අබාධ තත්ව හේතුවෙන් වනිදු හසරංග දුෂ්මන්ත චමීර දිල්ෂාන් මදුෂංක වැනි ප‍්‍රබල ක්‍‍්‍රීඩකයන්ට අහිමිව යන අතර දුනිත් වෙල්ලාලගේ මතීෂ පතිරණ වැනි නවක ක්‍‍්‍රීඩකයන්ට එහිදී වැඩි අවස්ථාවක් හිමි විය.

ආසියානු කුසලානය නිම වීමත් සමගම ආරම්භ වූ ලෝක කුසලාන තරගාවලියට ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙරටින් නික්ම යාමට පැය 24කටත් අඩු කාලසීමාවක් වනතෙක් ශී‍්‍ර ලංකා සංචිතය නිල වශයෙන් ප‍්‍රකාශ කර නොතිබීම විමතියට කරුණකි. අවසන් මොහොතේ නම් කල සංචිතයේ ක‍්‍රීඩකයන්ට අමතරව චාමික කරුණාරත්න අතිරේක ක්‍‍්‍රීඩකයෙක් ලෙස නම් කර සංචිතයත් සමග ඉන්දියාව බලා පිටත් කරන ලදී.

ඒ වන වටිත් තරග ගණනාවක පිතිකරුවෙකු ලෙස අසාර්ථක වෙමින් සිට කණ්ඩායම් නායක දසුන් ශානක ලෝක කුසලාන තරගාවලියේ තරග දෙකක් අවසන් වන විට ආබාධයකට ලක්වීම නිසා අතිරේක ක‍්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමත් සමග ඉන්දියාව බලා ගොස් සිටි චාමික කරුණාරත්න කණ්ඩායමට ඇතුලත් කෙරිනි. එසේම ඉන් පසුව ඇන්ජෙලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර යන ක‍්‍රීඩකයින් ඉන්දියාව බලාපිටත් කර හරින්නේ අතිරේක කී‍්‍රඩකයින් ලෙසය. අනතුරුව ආබාධ තත්වයන් නිසා පිලිවෙලින් මතීෂ පතිරණ වෙනුවට ඇන්ජෙලෝ මැතිව්ස්ද ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීරද කණ්ඩායමට එක් කරගන්න ලදී. මේ ආකාරයට තරගාවලිය අතරතුර ආදේශ කිරීම් සිදු කරමින් ආ ගමනේ අවසානය වූයේ එලඹෙන ශූරයන්ගේ කුසලානයට පවා සුදුසුකම් නොලබා මෙවර ලෝක කුසලානයෙදී 9 වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න